1974 වර්ෂයේදී ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙය ලියා ඇත. මෙම සිදුවීම පාදක කරගෙන 1982 වර්ෂයේදී "The Entity" නමින් චිත්‍රපටයක්ද නිර්මාණය විය.)

කැලිෆෝර්නියාවේ කල්වර් නගරයේ (Culver City, California) 1974 අගෝස්තු 22 වන දින ආරම්භ වූ මෙම පරීක්ෂණය, ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සහ අද්භූතම සිදුවීම්වලින් එකක් ලෙස සැලකේ. මෙම පරීක්ෂණය මෙහෙයවනු ලැබුවේ සුප්‍රසිද්ධ පාරභෞතික විමර්ශක ආචාර්ය බැරී ටැෆ් (Dr. Barry Taff) විසිනි.

දිනක් ආචාර්ය බැරී ටැෆ් සහ ඔහුගේ සහායක කෙරී ගෙනෝර් (Kerry Gaynor) ප්‍රාදේශීය පොත් සාප්පුවක සිටියදී අහම්බෙන් හමු වූ කාන්තාවක් සමඟ කතාබහ කිරීමට අවස්ථාවක් ලැබුණි. ඇය තමා දන්නා නිවසක සිදුවන බියකරු අද්භූත සිදුවීම් මාලාවක් ගැන ඔවුන්ට විස්තර කළාය. එම තොරතුරු අනුව, 1974 අගෝස්තු 22 වන දින ඔවුන් දෙදෙනා කල්වර් සිටි හි පිහිටි අදාළ නිවසට ගියහ.

එම නිවසේ පදිංචිව සිටියේ 30 හැවිරිදි 'ඩොරිස් බිතර්' (Doris Bither) නම් කාන්තාව සහ ඇගේ දරුවන් සිව් දෙනායි (අවුරුදු 6ක දියණියක් සහ වයස 10, 13, 16 වයස්වල පසුවන පුතුන් තිදෙනෙක්). ආචාර්ය බැරී සහ කෙරී එම නිවසට ඇතුළු වූ මුල් දිනයේම දුටුවේ ඉතා අපිරිසිදු සහ අවුල් සහගත පරිසරයකි. මව සහ දරුවන් අතර පැවතියේද ඉතා දුරස් සහ ගැටුම්කාරී සම්බන්ධතාවකි. එසේම, නිවස තුළට ඇතුළු වූ මොහොතේ සිටම විමර්ශකයන්ට අමුතුම පීඩනයක් සහ ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය.

ඔවුන්ට ලැබුණු තොරතුරුවලට අනුව, ඩොරිස් බිතර් කුඩා කල සිටම දෙමාපියන්ගේ අපයෝජනයන්ට ලක්වූ කාන්තාවකි. ඇය විවිධ පුද්ගලයන් සමඟ අසාර්ථක සබඳතා පවත්වා තිබූ අතර, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලටද ඇබ්බැහි වී සිටියාය. නිවස තුළ පැවති දැඩි මානසික පීඩනය, දරුවන් තුළ මව කෙරෙහි තිබූ වෛරය සහ නිවසේ පැවති ඍණාත්මක ශක්තිය (Negative Energy) අද්භූත බලවේගවලට ක්‍රියාත්මක වීමට සුදුසු පසුබිමක් නිර්මාණය කර තිබූ බව ආචාර්ය බැරී ටැෆ්ගේ නිරීක්ෂණය විය.

ඩොරිස් පවසා සිටියේ අදෘශ්‍යමාන ආත්මයන් තමාට කායිකව පහර දෙන බවත්, නිවස තුළ ඇවිදින විට තල්ලු කරන බවත්, වඩාත් බියකරු ලෙස තමා ලිංගික අපයෝජනයට ලක් කරන බවත්ය. විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් මෙය පිළිගැනීම ඉතා අපහසු වුවද, පරීක්ෂකයන් මෙය බැහැර කළේ නැත. ඩොරිස් සහ ඇගේ දරුවන් පැවසුවේ මෙම අවතාර ආසියානු පෙනුමක් ඇති බවයි.

මෙම සිදුවීමේ වඩාත් කතාබහට ලක්වූ කරුණ වන්නේ "අවතාර විසින් ලිංගික දූෂණය කිරීම" පිළිබඳ ප්‍රකාශයයි. ඩොරිස් පැවසුවේ කුඩා ප්‍රමාණයේ අදෘශ්‍යමාන ජීවීන් දෙදෙනෙකු ඇයව අල්ලාගෙන සිටින අතර, විශාල උසැති රුවක් ඇයව දූෂණය කරන බවයි. වරක් ඩොරිස්ගේ වැඩිමල් පුතා (16 හැවිරිදි) මවගේ කාමරයට ඇතුළු වන විට මව ඇඳ මත එහා මෙහා විසිවෙනු දැක ඇත. ඔහු ඇයව බේරා ගැනීමට උත්සාහ කළ විට, නොපෙනෙන බලවේගයක් විසින් ඔහුව කාමරයෙන් ඉවතට විසි කර දමා ඇති බව ඔහු සාක්ෂි දුන්නේය.

මෙම අද්භූත සිදුවීම් කැමරාවට හසු කර ගැනීමේ අරමුණින් විමර්ශක කණ්ඩායම අධිවේගී කැමරා සහ ඡායාරූප ශිල්පීන් සමඟ නැවත එම නිවසට පැමිණියහ. 30 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ඩොරිස්ගේ නිදන කාමරයට රැස් වූහ. පරීක්ෂණය අතරතුර ඩොරිස් දැඩි ආවේගශීලී වී අදෘශ්‍යමාන ආත්මයන්ට අභියෝග කරමින් කෑ ගසන්නට වූවාය. "එළියට වරෙව්! ඇවිත් මාව හම්බවෙයව්!"

සියල්ලන්ම මවිතයට පත් කරමින් කාමරයේ ආලෝකය වෙනස් වන්නට විය. කාමරය පුරා කොළ සහ තද රතු පැහැති මීදුමක් දඟර ගැසෙමින් පැතිරෙන්නට පටන් ගත්තේය. තත්පර කිහිපයක් ඇතුළත එම මීදුම අතරින් විශාල, මාංශපේශී සහිත මිනිසෙකුගේ දළ සටහනක් දිස් විය. පැහැදිලි මුහුණක් නොපෙනුණද, එය පිරිමි රුවක් බව කාටත් වැටහුණි.

පුදුමය නම්, එතැන සිටි වෘත්තීය ඡායාරූප ශිල්පීන් කොතෙක් ඡායාරූප ගත්තද, එම මිනිස් රූපය කිසිදු කැමරාවක සටහන් නොවීමයි. ඒ වෙනුවට ඡායාරූපවල සටහන් වී තිබුණේ නිදැල්ලේ පාවෙන අද්භූත ආලෝක ධාරාවන් (Arcs of light) සහ ආලෝක බෝල (Orbs) පමණි. මෙම පරීක්ෂණයේ වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයේ දැක්වෙන්නේ, ඩොරිස් ඇඳ මත සිටින විට දීප්තිමත් ආලෝක ධාරාවක් ඇය වටා වක්‍රාකාරව පිහිටා ඇති ආකාරයයි.

මාස දෙකහමාරක් පුරා මෙම පරීක්ෂණ පැවැත්වුණු අතර කාලයත් සමඟ ක්‍රියාකාරකම් අඩු විය. ආචාර්ය බැරී ටැෆ්ගේ මතය වූයේ ඩොරිස්ගේ ජීවිතයේ තිබූ කම්පන සහගත අත්දැකීම් (ළමා කාලයේ අපයෝජනයන්, පියවරුන් හෝ ඥාතීන්ගෙන් ලැබුණු පීඩනය) නිසා ඇය තුළ "පෝල්ටගයිස්ට්" (Poltergeist) වැනි මානසික ශක්තියක් ගොඩනැගී තිබුණු බවයි. ඇයගේ යටි සිතේ තිබූ පීඩනය සහ ඍණාත්මක ශක්තිය බාහිර ලෝකයට මුදා හැරීමක් ලෙස මෙම අද්භූත සිදුවීම් නිර්මාණය වූ බවටද මතයක් පවතී.

කෙසේ වෙතත්, ඩොරිස් එම නිවසින් ඉවත්ව ගිය පසු එම නිවසේ අද්භූත සිදුවීම් නතර විය. පසුව එහි පදිංචි වූ කිසිවෙකුට එවැනි අත්දැකීම් ලැබී නැත. නමුත් එදා කැමරාවල සටහන් වූ අද්භූත ආලෝක ධාරාවන් අදටත් විද්‍යාත්මකව පැහැදිලි කිරීමට කිසිවෙකු සමත් වී නැත.

(මූලාශ්‍ර: ආචාර්ය බැරී ටැෆ්ගේ "The Real Entity Case" ලිඛිත වාර්තා ඇසුරිනි)

ස්තුතියි! නැවත කතාවකින් හමුවෙමු!
~Anthony Morningstar~