අද මම අරගෙන ආවේ ලොව පුරා අතිශය ජනප්‍රිය හොල්මන් කතාවක් වන "Bloody Mary" (බ්ලඩී මේරි) ගැන විස්තරයක් සහ ඒ හා බැඳුණු කුඩා කතාවක්.

කවුද මේ Bloody Mary?

Bloody Mary යනු අනාගතය හෙළි කිරීමට හෝ භීතිය ඇති කිරීමට පැමිණෙන බව කියන ජනප්‍රවාදගත අවතාරයකි. මෙම පුරාවෘත්තයට අනුව, යම් පුද්ගලයෙකු තනිවම කැඩපතක් (කණ්ණාඩියක්) ඉදිරියට ගොස් "Bloody Mary" යන නම තුන් වරක් පැවසූ විට මෙම අවතාරය දර්ශනය වේ. සමහර විට එසේ පැවසූ සැණින්ම ඇය මතු නොවුණත්, පසුව හෝ එම පුද්ගලයා තනි වූ අවස්ථාවක ඇය පැමිණ ඔවුන්ව බිය වැද්දීමට හෝ ගෙල සිර කර මරා දැමීමට ඉඩ ඇති බව කියැවේ. මෙම අවතාරය "Mary Worth," "Mary Worthington," "Mary Jane," "Mary White" සහ "Hell Mary" වැනි විවිධ නම්වලින්ද හඳුන්වනු ලබයි.

තවත් විශේෂ කරුණක් වන්නේ මෙම Bloody Mary අවතාරය බොහෝ විට දර්ශනය වන්නේ තරුණ කාන්තාවන්ට බවයි. අතීතයේ පැවති විශ්වාසයකට අනුව, තරුණ කාන්තාවක් අඳුරු නිවසක එක් අතකින් ඉටිපන්දමක් සහ අනෙක් අතින් කැඩපතක් ගෙන, නිවසේ තරප්පු පෙළ දිගේ පසුපසට (Backwards) ගමන් කළහොත්, ඇයගේ අනාගත සහකරුගේ රුව කැඩපතෙන් දිස්වන බව කියැවේ. නමුත් අවාසනාවන්ත අවස්ථාවලදී සහකරුගේ රුව වෙනුවට මරණයේ සංකේතයක් වන හිස් කබලක් (Grim Reaper) දිස් වුවහොත්, ඇය විවාහ වීමට පෙර මිය යන බවට විශ්වාසයක් පැවතුණි. (Grim Reaper ගැන වෙනම ලිපියක් ඉදිරියේදී ගෙන එන්නම්).

වර්තමානයේදී මෙම චාරිත්‍රය තනිව හෝ කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබයි. බොහෝ විට ගැහැණු ළමුන් රාත්‍රියේ ඉටිපන්දමක් දල්වාගෙන නාන කාමරයට ගොස්, කණ්ණාඩිය දෙස බලා තුන් වරක් "Bloody Mary" යැයි මැතිරීම සිදු කරයි. මෙසේ පැමිණෙන අවතාරය විටෙක සාමකාමී විය හැකි අතර විටෙක අතිශය නපුරු විය හැක. නූතන පුරාවෘත්තයන්ට අනුව ඇය තමා ඇමතූ පුද්ගලයාට ශාප කිරීම, ගෙල සිර කර මරා දැමීම, ඔවුන්ගේ ආත්මයන් සොරා ගැනීම හෝ රුධිරය පානය කිරීම වැනි දරුණු දේ සිදු කිරීමට ඉඩ ඇත.

කතාව: කැඩපතේ අබිරහස

එක්තරා රාත්‍රියක යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන් පිරිසක් තම මිතුරියකට විහිළු කරමින් සිටියහ. ඇයට තවමත් පෙම්වතෙක් නොමැති බව පවසමින් ඔවුහු ඇයට සමච්චල් කළහ.

"දැන් ඉතින් ඔයාට තියෙන්නේ තනියම ගිහින් Bloody Maryට කතා කරන එක විතරයි. එතකොටවත් එයා පෙන්නයි ඔයාගේ අනාගතේ ගැන..." එක් මිතුරියක් කීවාය.

තවත් යෙහෙළියක් ඇය අතට දැල්වූ ඉටිපන්දමක් දී, බලෙන්ම ඇයව නාන කාමරයට තල්ලු කළාය. "Bloody Mary කියලා තුන් සැරයක් කියනකම් එළියට එන්න එපා!" යැයි තර්ජනය කරමින් ඔවුහු පිටතින් දොර අගුලු දැමූහ. අසරණ වූ ඇය වෙන කළ හැකි දෙයක් නොමැති තැන, නාන කාමරයේ දොර අගුලු දමා, වෙව්ලන දෑතින් ඉටිපන්දමද අල්ලාගෙන කණ්ණාඩිය ඉදිරියට ගියාය. ඇය දෑස් පියාගෙන එළියේ සිටින යෙහෙළියන්ට ඇසෙන සේ හයියෙන් කෑ ගැසුවාය.

"Bloody Mary... Bloody Mary... Bloody Mary!"

ඇය නම කියා අවසන් කළද අමුතුවෙන් කිසිවක් සිදු නොවීය. සැනසුම් සුසුමක් හෙළූ ඇය ආපසු හැරී දොර වෙත යාමට සැරසුණාය. නමුත් ඊළඟ මොහොතේ සිදු වූ දෙයින් ඇගේ ලේ වතුර විය. එකවරම ඇය අතේ තිබූ ඉටිපන්දම නිවී ගියේ මුළු කාමරයම ඝන අන්ධකාරයේ ගිල්වමිනි. අයිස් වැනි සීතල සුළඟක් ඇගේ ගත දැවටෙන්නට විය. බියෙන් ත්‍රස්ත වූ ඇය අඳුරේම දොර වෙත පැන අගුල ඇරීමට උත්සාහ කළද එය වෑයමකි.

"දොර අරින්න! අනේ කරුණාකරලා දොර අරින්න!" ඇය මරහඬ දෙමින් දොරට ගසන්නට වූවාය.

නමුත් ඇගේ මිතුරියන් සිතුවේ ඇය තමන්ව බිය කිරීමට රඟපාන බවයි. ඔවුහු පිටත සිට මහා හඬින් සිනාසෙන්නට වූහ.

එකවරම තමාට පිටුපසින් කිසිවෙකු සිටින බව ඇයට දැඩිව දැනුණි. බියෙන් ගැහෙමින් ඇය නාන බේසම (Sink) දෙසට අඩියක් පස්සට ගත්තාය. ක්ෂණිකව නාන බේසමේ කරාමය විවර වී එයින් රුධිරය ගලා එන්නට පටන් ගත්තේය. ඒ සමඟම ඇය ඉදිරිපිට අඳුර මැදින් මතු වූයේ රුදුරු පෙනුමක් ඇති කාන්තාවකගේ රුවකි. ඒ වෙන කිසිවෙකු නොව, බ්ලඩී මේරි ය!

බියෙන් විලාප දුන් ඇය පස්සට යන්නට උත්සාහ කළද පය පැටලී ඇයව ඇද වැටුණි. ඇගේ කෑ ගැසීම නතර වී හදිසියේම ඇති වූ නිහඬතාවය නිසා පිටත සිටි යෙහෙළියන් බියට පත් වූහ. ඔවුන් වහා දොර කඩාගෙන ඇතුලට පැමිණියහ. නමුත් ප්‍රමාද වැඩි විය. තම මිතුරිය ලේ විලක් මැද මරණාසන්නව වැටී සිටිනු දුටු ඔවුහු භීතියෙන් කෑ ගැසූහ.

ප.ලි:

මේ ගැන ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන 'Supernatural' හි (Season 1, Episode 5) "Bloody Mary" නමින් කොටසක් විකාශය වුණා. මේ වගේ හොල්මන් සහ අද්භූත දේවල් ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම්, Supernatural කතා මාලාව අනිවාර්යයෙන්ම බලන්න. එය ඉතාමත් රසවත් කතා මාලාවක්.

~Author by Anthony Morningstar~